රතු කුරුස සංවිධානයේ මහ ලේකම්වරයා සහ අගමැති අතර හමුවක්

පෙබ 09, 2022

    ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ මහ ලේකම් ජගාන් චැපගන් (Jagan Chapagan) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    ලොව විශාලතම මානුෂවාදී සංවිධානය වන එය රටවල් 192ක ක්‍රියාත්මක වෙයි. කොවිඩ් වසංගතය ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසන අවස්ථාවක දී ම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ අපේ ජනතාව වෙත ලබා දුන් මානුෂවාදී ආධාර උපකාර වෙනුවෙන් ජාත්‍යන්තර රතුකුරුස සහ රතු අඩසඳ සංවිධානයට කෘතවේදීත්වය පිරිනමන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියා සිටියේය.

    ලොව පුරා විසිරී සිටින සිය සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී සහ විනිවිදභාවයෙන් කටයුතු කරන සාමාජිකයෙකු බව පෙන්වා දුන් මහ ලේකම් ජගාන් චැපගන් මහතා, ඉදිරි සහන සේවා කටයුතුවල දී ද ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රමුඛත්වයක් ලබා දී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් උපකාර කිරිමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේ ය.

    ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අන්තර්ජාතික රතුකුරුස හා රතු අඩසඳ සංවිධානයේ ඉන්දීය කලාපීය ප්‍රධාන නියෝජිත උදය රෙජිමි, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අරුණ ලේකම්ගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

    Latest News