දෘෂ්‍යාබාධිත දහසකට සැරයටි (වීඩියෝ)

පෙබ 09, 2022
  • මෙරට දෘෂ්‍යාබාධිත දහසක පිරිසකට සැරයටි ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී අද (09) ආරම්භ කෙරුණා.

    එය සංවිධාන කෙරෙන්නේ, ගුවන් විදුලි සංස්ථාවේ “කණ්ණාඩිය“ වැඩසටහන මගින්. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මඟ පෙන්වීම යටතේ අද වැඩසටහන පැවැත්වුණා. මෙහිදී සංකේතාත්මකව 20 දෙනෙකුට සුදු සැරයටි සහ ආහාර ද්‍රව්‍ය ද පිරිනැමුණා. දෘෂ්‍යාබාධිත සෙසු පිරිසට ඉදිරි කාලසීමාවේදී සැරයටි ලබාදීමට නියමිතයි. මීට සමගාමීව ගුවන්විදුලි නිවේදක, නිවේදිකාවන් හා ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය එක්ව මරණින් පසු ඇස් සහ ශරීරාංග දන්දීමේ සත්කාරයක් ද ආරම්භ කෙරුණා.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ඊට ගිවිසුම් අත්සන් කිරීම සිදු කළා. අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, ආබාධිත පුද්ගලයින් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී සාධාරණයක් ඉටු විය යුතු බවයි.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද, කලාකරුවන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 20:47

    Latest News