උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

පෙබ 07, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වෙයි. විභාගය ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. විභාග මධ්‍යස්ථාන 2,438කදී සිසුන් 345,242දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. ඊට පාසල් අයැදුම්කරුවන් 279,141ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 66,101 දෙනෙකු පෙනි සිටීමට නියමිතයි.

    කොරෝනා වැළඳුණු අපේක්ෂකයින්ට දිස්ත්‍රික් මට්ටමින් වෙනම මධ්‍යස්ථාන 29ක් ද මෙවර ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කරයි. නිරෝධායනයට ලක්ව සිටින විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන්නෙකු බව අදාළ ශාලාධිපති වෙත දැන්වීම අනිවාර්ය වේ.

    ඉන් අනතුරුව එම අපේක්ෂකයින්ට විභාග ශාලාව තුළ ස්ථාපිත කර ඇති විශේෂ විභාග කාමරයක් තුළ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසෙනු ඇති.

    මෙවරද විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.

    විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    මෙලෙස ආරම්භ වන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 උසස් පෙළ විභාගයයි.

    Latest News