'එකිනෙකාට ගරු කරමින් නිදහසේ අරුත පුළුල් කර ගනිමු' - අගමැති

පෙබ 04, 2022

    එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

    ශ්‍රී ලාංකිකයන් අභිමානයෙන් සමරනු ලබන 74 වැනි ජාතික නිදහස් දිනය උදා වී තිබේ. ඉතිහාසය පුරා ම නිදහස දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි සැම මහත් කැපකිරීම් කළෙමු. අධිරාජ්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීම උදෙසා කළ එවන් අරගල යුද ශක්තියෙන් ද දේශපාලන ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද ක්‍රියාත්මක විය. ‍

    යටත් විජිත යුගයේ නිදහස දිනා ගැනීම උදෙසා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනා ම ජාති, ආගම් හා පක්ෂ පාට භේද පසෙක ලා එකාවන්ව සටන් කළහ. 74 වසරකට පෙර ලැබූ එම නිදහසේ සැබෑ ආශ්වාදය අභ්‍යන්තර අරගල සහ දශක තුනක ත්‍රස්තවාදය නිසා මෙරට ජනතාවට අහිමි විය. විරෝදාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීමට නායකත්වය දෙමින් මීට වසර 13කට පෙර එම ත්‍රස්තවාදය නිමා කොට ජනතාවට බියෙන් සැකෙන් තොර රටක් නැවත උරුම කර දීමට අපට හැකිවිය.

    එලෙස දිනා දුන් නිදහස නැවත අභියෝගයට ලක්වෙමින් තිබිය දී රටේ පාලනය නැවත භාරගනිමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ අපි, ලෝක වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු මිනිස් ජීවිත සහ ආර්ථිකය නගා සිටුවීමේ දැවැන්ත අරමුණ ජය ගැනීමට පෙළ ගැසී සිටිමු. මෙම පීඩාකාරී වසංගත තත්ත්වයෙන් ජීවිත නිදහස් කොට ආරක්ෂා කිරීමේ රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට ලෝක මට්ටමේ ඇගයීමට ලක්වීම අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණයකි.

    දැන් එළැඹ ඇත්තේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයකි. එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජයක් නිර්මාණය කර ගැනීම ඔස්සේ නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව මගේ විශ්වාසයයි.

    74 වන ජාතික නිදහස් දිනය සමරන අද දිනයේ අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ දෑ හිතකාමී සියලු විරුවන් ගෞරවයෙන් සිහිපත් කරමු. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් උදෙසා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව අපි එක්ව නිදහස අර්ථ ගන්වමු.

    Latest News