අද නොව හෙට වෙනුවෙන් ඩිජිටල් ලෝකයක් (වීඩියෝ)

පෙබ 28, 2019

    ලෝක ආර්ථිකය සමඟ කටයුතු කිරීමට නව තාක්‍ෂණයත් එක්ක ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    පාසල්වල සුහුරු පන්ති කාමර ඇති කරමින් ඩිජිටල් ආර්ථිකයකට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර ඇති බව තවදුරටත් ඔහු කියා සිටියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙ බව තියා සිටියේ ගම්පහ ගනේමුල්ල හේමමාලි මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් තාක්‍ෂණ පීඨය මෙන්ම තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද(28) එක්වෙමිනි.

    දිවයිනේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් රටේ සෙසු පාසල්වල සුහුරු පන්ති කාමර ආරම්භ කර නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යා හැකි මංපෙත් විවෘත කර දෙන බව, වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    හේමමාලි විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සමඟ සුහදව කතාබහක නියැලීමෙන් අනතුරුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණ එහි විවෘත කිරීම්වලින් පසු ප්‍රධාන රැස්වීම් ශාලාව වෙත කැඳවාගෙන එන ලදී. 

    ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවය අමතා අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    ලෝක ආර්ථිකයත් සමඟ කටයුතු කිරීමට නම් නව තාක්‍ෂණයත් සමඟ ඉදිරියට යා යුතුයි. අපේ මුතුන් මිත්තන් පාසලට ගියේ ගල්ලෑල්ල රැගෙනයි. අපි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොපි පොතෙන් සහ කළු ලෑල්ලෙන්. ඉන් පසුව වයිට් බෝඩ් එක සහ වර්තමානයේ සුහුරු පන්ති කාමර දක්වා අධ්‍යාපනය වෙනස් වී තිබෙනවා.
    රටේ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළකර තිබෙනවා. ඊට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරි දශකයේදී රට තුල ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    ඩිජිටල් අධ්‍යාපනයක් ඇති කරනවා නම් සුහුරු පන්ති කාමර අවශ්‍යයි. එහි පළමු පියවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පළමු සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල ආරම්භ කළා. මේ වන විට පාසල් ගණනාවක සුහුරු පන්ති කාමර ක්‍රමය අපි අත්හදා බලා තිබෙනවා. ඉදිරියේදී සෙසු පළාත්වලට ද මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. ජනතා නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා විදුහල්පතිවරු ගුරු මණ්ඩල මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 11:11

    Latest News