සුපිරිසිදු රාජ්‍ය සේවයකට ශක්තිමත් විගණනයක්;ජනපති (වීඩියෝ)

පෙබ 27, 2019

    වංචාව, දූෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැඟීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

    රාජ්‍ය ආයතන තුළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදු නොවන්නේ නම් වාර්ෂික අය-වැය පරතරය පියවා ගැනීමට විදේශීය ණය සහ රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට සිදු නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රජයට ලැබිය යුතු ආදායම විනාශ කරන දෙපාර්තමේන්තු කිහිපයක් අද පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව ද කියා සිටියේය .

    මේ රටේ රාජ්‍ය ආදායම විනාශ කර දමන එම ආයතන පිළිබඳ කිසිවෙකු කතා නොකරන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් ද අනාවරණයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමා පිළිබඳ කුමන අන්දමේ විවේචන සිදු කළ ද, ජනාධිපතිවරයා ලෙස පැවරී ඇති වගකීම් සහ යුතුකම් ඉකුත් සිව් වසර තුළ තමා නොපිරිහෙළා ඉටුකර තිබෙන බව නොබියව ප්‍රකාශ කළ හැකි බවයි.

    මෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළ ද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    මහබැංකු මංකොල්ලය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂමේ ප්‍රධාන නිර්දේශයක් වන වෝහාරික විගණනය තවමත් ආරම්භ වී හෝ නොමැති අතර, එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ එක් වගන්තියක් වෙනස් කළ යුතු වුව ද, එය ද දිනෙන් දින අතපසු වූ අයුරු ජනාධිපතිතුමා සිහිපත් කළේය. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දී පවතින නීතිය අනුව කටයුතු කරන්නේ නම් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට වසර 15 -20 කාලයක් ගතවනු ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන් ම 2015ට පෙර පැවති රජයේ වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එම නිර්දේශ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම අදාළ ආයතනවල වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසී ය.

    එම කොමිසම මෙන්ම මෙම ආණ්ඩුවේ වංචා, දූෂණ පිළිබඳව සෙවීමට ද තමා පසුගියදා ජනාධිපති කොමිසමක් පත් කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා තමන්ගේම ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ එවන් කොමිසමක් කිසිඳු රාජ්‍ය නායකයෙකු විසින් පත් කර නොමැති බවත්, සීමාවකින් තොරව සියලු වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත් කළ එම කොමිසමට මේ වන විට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බවත් අදාළ විනිසුරුවරුන් විසින් එම විමර්ශන කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇති බවත් සඳහන් කළේය.

    එමෙන්ම විගණන සේවා කොමිසම ස්ථාපිත කිරීමේ දි සිදු වූ බාධා පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ එහි බලතල ලබාදීමේ දී බියට පත් වූයේ රාජ්‍ය සේවයේ ම කොටසක් බවත් අවංකව රට වෙනුවෙන් තම සේවය ඉටු කරන්නේ නම් නීති රීතිවලට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් ය.

    රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ සහ මහජන මුදල් විනාශයට පත්කරන දෙපාර්තමේන්තු අතර සිය අනන්‍යතාවය සහ ගරුත්වය රැක ගනිමින් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන විගණන සේවා දෙපාර්තමේන්තුවේ සේවය ද මෙහි දී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය. ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 09:57

    Latest News