අගමැතිතුමාගේ නත්තල් දින පණිවුඩය

දෙසැ 25, 2021

    නත්තල් පණිවුඩය - සෑබෑ නත්තලක සිරි අසිරි විඳින අර්ථාන්විත සුබ නත්තලක් වේවා! අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරයි.

    සාමයේ හා ප්‍රේමයේ සළකුණ මිහිමත තැබූ උතුම් නත්තල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ මානව ගරුත්වය මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට විශ්වාසනීය පදනමක් විය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ගවඔරුවක උපන් ජේසු බිළිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය.

    අසිරිමත් හදවත් ඇත්තෝ සාමය බෙදා ගනිති. තමන්ට වෛර කරන සතුරාට ද ප්‍රේම කරති. ප්‍රේමය සාමය හා සහෝදරත්වයේ අරුත ගෙන සිය ජීවිතය පුබුදුවා ගනිති. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලොව නිර්මාණය කිරීම උදෙසාය.

    එම දර්ශනය නිසි ලෙස හඳුනා ගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීම තුළ සෑම කිතුනුවකුගේම ජීවිත ආලෝකමත් වේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට මෙන්ම බලාපොරොත්තුවේ සුබ ප්‍රාර්ථනාවන් තුළින් නත්තල අරුත් ගැන්වීම ඔබට භාරය.

    ‘‘තරු එළියයි, කිතු උපතයි, ලොව පුබුදයි’’ තේමාවෙන් හැඩවන මෙවර නත්තල සමස්ත ලෝකවාසී හා ශ්‍රී ලාංකික කිතුනු ජනතාවට සෑබෑ නත්තලක සිරි අසිරි විඳින අර්ථාන්විත සුබ නත්තලක් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.


    Latest News