දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

දෙසැ 21, 2021

    නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පාතාල ක්‍රියාවලින් රුපියල් කෝටි ගණනක මුදල් හා දේපළ උපයා ගත්තේ කියන පාතාල කල්ලි නායකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 04 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.



    මෙම පැමිණිල්ල අද කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    ඒ අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා කුඩා පරිමානයේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බවත් ඉකුත් මාස කීපය තුළ ඔහු රුපියල් කෝටි 18 ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවත් දැනුම් දුන්නා.

    මේ පිළිබඳව විමර්ශන නිලධාරීන් අවධානය යොමු කර නොමැති බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    ඉදිරිපත් වූ කරුණු චු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 04 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කලා.

    සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන "දෙමටගොඩ චමින්ද" නමැත්තා ගේ සොහොයුරෙකු බවද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

    Latest News