පහේ හපන්නු 9000කට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලින් ශිෂ්‍යත්ව...

දෙසැ 09, 2021

    2020 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දූ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළ පළමු අදියරේ මුදල් චෙක්පත් ප්‍රදානය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.  

    පළමු අදියර යටතේ දූ දරුවන් 6000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුම් විවෘත කිරීමට පිරිනමන රුපියල් 89,820,000 වටිනා චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා විසින් මෙහි දී අග්‍රාමාත්‍යතුමා වෙත පිරිනමන ලදි. අග්‍රාමාත්‍යතුමා විසින් අදාළ චෙක්පත මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට භාර දෙනලදි.  

    සෑම වසරක ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) සාමාජිකයින්ගේ දූ දරුවන් 9000කට, එක් අයෙකුට රු.15, 000 බැගින් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුවේ.  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 1994 වර්ෂයේ කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹිණි. ඒ අනුව එදා පටන් අද දක්වා අඛණ්ඩව සෑම වර්ෂයක ම මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.  

    දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහාත් සුවහසක් කම්කරු ජනතාව වෙනුවෙන් කරනු ලබන උපහාරයක් ලෙසත් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ක්‍රියාත්මක ය.  ශිෂ්‍යත්වලාභී දරුවන් අදාළ ශිෂ්‍යත්ව මුදල් මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුමක තැන්පත් කරන අවස්ථාවේ මලලසේකර සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයක් තිලිණ කරන අතර සාමාන්‍ය සිසු උදාන ගිණුම් සඳහා පිරිනමන පොලී අනුපාතයට වඩා වැඩි පොලී ප්‍රතිශතයක් මෙම ගිණුමට ලබාදෙයි.  

    මෙම අවස්ථාවට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, සේවා නියුක්තභාරකාර මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.පී.ජී. ප්‍රනාන්දු , මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති එම්.ජී.ඒ. සමන් කුමාර මහත්වරු ඇතුළු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ හා මහජන බැංකුවේ නිලධාරී පිරිසක් සහභාගී වූහ.

    Latest News