පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

දෙසැ 09, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මෙම කරුණ අද මෝසමක් මාර්ගයෙන් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා හමුවීම සඳහා ඉකුත් 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා මහතා විසින් නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව නුදුන් බවයි.

    එම කරුණ සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන්ගේ හා නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි අදාළ නීතිඥවරුන්ට එම සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

    අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා ලබන 16 වැනිදා කැඳවීමට ද නියම විය.

    Latest News