උප්පැන්න සහතිකයේ වෙනසකට කැබිනට් අනුමැතිය

දෙසැ 07, 2021

    උප්පැන්න සහතිකය නිකුත් කරන විට එයට තවත් වෙනසක් කිරීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව "ශ්‍රී ලංකා අනන්‍යතා අංකය" උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර තිබේ.

    ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවෙකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය "උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත" අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

    වයස අවුරුදු 15ට එළඹි හා එළඹෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඉල්ලීම මත ඔවුන් ලියාපදිංචි කර ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

    එමෙන්ම 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති 2019 අංක 01 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග යටතේ සෑම ශ්‍රී ලංකා පුරවැසියෙක් සඳහාම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත් කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

    එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මගින් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබාගැනීමේදී එම කටයුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී අවස්ථාව ලැබෙනු ඇති.

    ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට නිකුත් කිරීමට නියමිතය.

    Cabinet2

    Latest News