අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදයි (වීඩියෝ)

නොවැ 18, 2021
  • ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සනිටුහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

    සිව් වරක් මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ එතුමාගේ විජයග්‍රාහී ගමන් මග පිළිබඳ මතක සටහන් බෙහෝයි.

    සිය පියාණන්ගේ අභාවයෙන් පසු 1967 වසරේදී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් 1970 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. මහින්ද රාජපක්ෂ මහතා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයායි. 1988/1989 භීෂණ සමයේ එතුමාගෙන් ඉටුවූ කාර්ය භාරය, ඊට මුහුණ දුන් ජනතාව අදත් සිහිපත් කරන්නේ, එතුමාට දක්වන ගෞරවයක් ලෙසයි. ඒ, එවක ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමයි. 1989 යළි පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය නිමා කරන්නට පෙරමුණ ගෙන ක්‍රියා කළා. ජන ඝෝෂා, පාද යාත්‍රා යමින්, 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු පාලනයක් ගොඩනැගිමට මහින්ද රාජපක්ෂ මහතා කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණා. කම්කරු, ධීවර වැනි අමාත්‍යාංශ ගණනාවක් සාර්ථකව මෙහෙය වූ එතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස ද ක්‍රියා කළා. මහින්ද රාජපක්ෂ මහතා, 2004 වසරේ අප්‍රේල් මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් වුනා. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දුන්නා.

    30 වසරක යුද්ධය නිමා කරමින් මව්බිමට සාමය උදා කිරීමට නායකත්වය දුන් එතුමා, 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා යලි ජනාධිපති ධූරයට තේරී පත් වුණා. එතැනි සිට ඇරඹී මෙරට සංවර්ධන යුගය, අලුත් මාවතකට ගෙනයාමට සමත් වුණා. එය, අධිවේගී මාර්ග ඇතුලු දැවැන්ත සංවර්ධනයක් මාතෘභූමියට ලඟ කරමින්, විප්ලවීය වෙනසක් ඇති කළ යුගයක්. ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඉහළ නංවමින් ආසියාවේ නැගී සිටින රාජ්‍ය බවට මව්බිම පරිවර්ථනය කිරීම එතුමාගේ උත්සහය වුණා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වුවද, ජනතාවගේ දැඩි ඉල්ලිම හමුවේ එතුමා යළි ජනතා සේවයට පිවිසුනා. 2018 වසරේ පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එතුමා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුණා. නව දේශපාලන පක්ෂයකට 70% කට අධික පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිවූ පළම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වුනා. 2019 වසරේ ජනවාරි මාසයේ දී දෙවැනි වරටත් විපක්ෂ නායක ධූරයට පත් රාජපක්ෂ මැතිතුාම, එක්සත් ජාතික පක්ෂ රජය පෙරලා දැමීමට අවශ්‍ය ජනතා බලය සංවිධානය කළා. ඒ අනුව, 2019 වසරේ නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය කළේ, ලක්ෂ 69 ක ජනවරමක් හිමි කරගනිමින්. අනතුරුව, පත් කෙරුණු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද මහින්ද රාජපක්ෂ මහතායි. පසුගිය මහ මැතිවරණය ද මන්ත්‍රී ධූර 145 ක් සමග විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ, මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එම මැතිවරණයට ඉදිරිපත් වූ එතුමාට 527,364 ක මනාප සංඛ්‍යාවක් හිමි වුණා. ඒ, පාර්ලිමේන්තු මැතිවරණයකට අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අග්‍රාමාත්‍යවරයාට හිමි බලතල ජනාධිපතිවරයට පැවරීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අත්හැරී එකම නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වනු ඇති. පරමාදර්ශී නායකත්වයක් ප්‍රදර්ශනය කරමින්, අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලනයේ තිර සළකුණ බවට පත්වෙමින්, මව්බිමට විජයග්‍රහණ රැසක් අත්කර දුන් මහින්ද රාජපක්ෂ යුගය, මෙරට දෙශපාලනයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් ලෙසයි සැලකෙන්නේ.

    Latest News