මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.
මෙහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අනතුරුව නඩු විභාගය මාර්තු මස 07 වැනිදා පැවැත්වීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන උද්ඝෝෂනයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කුරුදු වත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.