කඩුගන්නාව මාර්ගය බස් ධාවනයට පමණක් විවෘත කෙරේ

නොවැ 11, 2021

    පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින නාය අවදානම හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද දහවල් 1.00 සිට මගී බස් රථ සඳහා පමණක් විවෘත කිරීමට නියමිතයි.

    පැවති ධාරානිපාත වැසි තත්වය මධ්‍යයේ පහළ කඩුගන්නාව 98 වැනි කිලෝමීටර කණුව අසළ කන්දේ කොටසක් නායයෑමට ලක්විය. එම නිසා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පස් හා ගල්වැටි අවහිර වීම නිසා වාහන ධාවනය එහි එක් මංතීරුවකට සීමා කෙරිණ.

    වසර කිහිපයක් රථවහාන ධාවනය තහනම් කර තිබූ පැරණි මාර්ගයේ බිංගෙය මහනුවර දෙසට වාහන ධාවනය සඳහා තාවකාලිකව විවෘත කෙරුණේ ඒ අනූවයි.

    කෙසේ වුවද, තවදුරටත් නාය අවදානම පැවතීම හේතුවෙන් ඊයේ රාත්‍රී 10.00ට පමණ කඩුගන්නාව මංසන්ධියෙන් හා ගනේතැන්න ප්‍රදේශවලින් මාර්ගය වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තේය.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරින් හා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මාර්ගයේ තත්වය විමර්ශනයට ලක් කළේය.

    Latest News