ජනපති හා අගමැතිගෙන් හින්ඳු බැතිමතුන්ට සුභපැතුම්

නොවැ 04, 2021

    අවිද්‍යාවේ ඝන අන්ධකාරයෙන් බැහැරවී සිත් පහන් කරවන ප්‍රඥාලෝකය දැල්වීම දීපාවලි මංගල්‍යයෙන් සංකේතවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීපාවලි උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ලොව පුරා හින්දු බැතිමතුන් සමරන බොහෝ උත්සවවලින් දීපාවලි උත්සවයට හිමිවනුයේ විශේෂයකි. හින්දු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික උත්සවයක් සහ ඉපැරණි සංස්කෘතික මංගල්‍යයක් වන දීපාවලි මංගල්‍යය මඟින් ජීවිතයේ අයහපත දුරුකර යහපත උදාකර ගැනීම අපේක්ෂා කෙරේ.

    මෙම පහන් මංගල්‍යයෙන් සංකේතවත් කරනුයේ, ගුණවත්කමේ බලමහිමය සහ අහංකාරත්වයේ නිසරු බවයි. ප‍්‍රමාද වී හෝ සත්‍ය ජය ගන්නා බවත්, අන්ධකාරයෙන් සංකේතවත් කරන නිසරු බව පහව ගොස්, සශ්‍රීකත්වය, සතුට හා සාමය පිරි සෞභාග්‍යය උදාවෙන බවත් හින්දු බැතිමත්හු විශ්වාස කරති.

    පාරිසරික සෘතු විපර්යාස සමඟ අනාදිමත් කාලයක් මානවයා ඇති කරගත් ආධ්‍යාත්මික හුවමාරුව ඉතා ප‍්‍රබෝධයෙන් හා භක්තියෙන් සමරන, දීපාවලි මංගල්‍යය ලොකු කුඩා සියලූ දෙනා තුළ සතුට සහ උද්‍යෝගය ඇති කරවයි.

    දීපාවලි මංගල්‍යය සමග විශ්වයට ප‍්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලූ දෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.
    ............................................................................

    සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවී ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් ලෙස දියුණු වන යහපත් අනාගතයක ආරම්භය ලෙස මෙම දීපාවලි උත්සවය උදා වේවායි, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රට ගොඩනඟන ‘සෞභාග්‍යයේ දැක්ම’ යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බාධක රැසක් ජය ගනිමින් අප ප්‍රබුද්ධ සංවර්ධන මාවතක් උදෙසා ගමන් කරමින් සිටින හෙයින් අපේ ජාතිය සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය දැකීම අප කාගේත් අපේක්ෂාව බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

    එම නිවේදනයේ පහතින්...

    අද ලෝකයටම තර්ජනක් වී ඇති කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි ප්‍රගතිශීලී සහ ඵලදායී ක්‍රියාකාරකම් රැසක් සිදු කරමින් සිටිමු.

    අඳුරු මාවතක ආලෝකය ඇත්නම්, එය අප යන මාවතට සහාය වනු ඇත. දීපවාලි යනු එවැනි අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය නමස්කාරය තුළින් ලබා ගන්නා සුවිශේෂී දිනයකි. දීපවාලි උත්සවය ඉතා භක්තියෙන් සමරන සියලු හින්දු බැතිමතුන් වෙනුවෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටුනි.

    ජාතික සමඟිය සැමරීමට මෙය විශිෂ්ට දිනයකි. පහන් වන්දනාව සෑම ආගමකටම පොදු වේ. අප තුළ ඇති අවිද්‍යාව නමැති අඳුර දුරු වී, අභ්‍යන්තර ආලෝකය බැබළිමයි එම පහන් පූජාවේ අරමුණයි. මෙම සුවිශේෂි දිනයේ දල්වන ආලෝකය ප්‍රජාවන් අතර වඩා හොඳ අවබෝධයක් සඳහා සංඥාවක් ලෙස සැලකිය යුතුය. මෙතරම් කාලයක් අපේ ජනතාව භේද භින්න කළ සියලු වෙනස්කම් මකා දමන මොහොතක් ලෙස දීපාවලී උත්සවය සමරමු.

    ශ්‍රී ලාංකික සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් දීපාවලි දිනයක් වේවා!

    Latest News