සීමාවාසික වෛද්‍යවරුන් 1401කට පත්වීම්

ඔක් 26, 2021

    සීමාවාසික වෛද්‍යවරුන් 1,401කට පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

    විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මෙම නිලධාරීන් රට පුරා රෝහල් 64කට අනුයුක්ත කිරීම සිදු කෙරේ.

    නිල වශයෙන් මෙහිදී සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කළ අතර, රටේ විවිධ ප්‍රදේශවල සිටින අනෙකුත් පත්වීම්ලාභීහු මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

    මේ අතර, ජුනි මාසයේ දීද සීමාවාසික පත්වීම් 318ක් ලබා දුන් අතර, ඒ අනුව මෙම වසර තුළ එවැනි පත්වීම් 1,719ක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊයේ ලබා දුන් පත්වීම් අතර 1,066ක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය සිසුන් වන අතර, 335ක් විදෙස් විශ්ව විද්‍යාලයන් හි වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූවන් වේ.

    වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියකට ලක් කරන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට පවතියි.

    Latest News