ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීම ගැන වියට්නාම් තානාපතිනිය විශ්වාසය පළ කරයි

ඔක් 21, 2021

    ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) ඊයේ (20) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

    ඉදිරි වර්ෂවල දී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීමට බොහෝ අවස්ථා ඇති බව තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය මෙහි දී විශ්වාසය පළ කළාය.

    වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ශනය කර ගැනීමට බොහෝ හැකියාවන් ඇති බව ඇය මෙහි දී ප්‍රකාශ කළාය. 2019 වර්ෂයේ දී පමණක් දෙරට අතර වෙළඳාම අමෙරිකානු ඩොලර් මිලියන 300 ඉක්ම වූ බව තානාපතිනිය පෙන්වා දුන්නාය.

    ආයෝජනවලට අමතරව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර බෞද්ධ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සිය රට උනන්දුවන බව ද තානාපතිනිය මෙහි දී හෙළි කළාය. එම යෝජනාව සම්බන්ධයෙන් එකඟත්වය පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඓතිහාසික බෞද්ධ උරුමය පදනම් කරගනිමින් දෙරටේම ජනතාවට වැදගත්වන අයුරින් අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කළ හැකි බව පෙන්වා දුන්නේය.

    හරිත රූපවාහිනිය සමඟ දැනටමත් බෞද්ධ වැඩසටහන් හුවමාරු කර ගැනීම අරඹා ඇතැයි ටෘක් මහත්මිය මෙහි දී ප්‍රකාශ කළාය.

    වියට්නාම බෞද්ධ විහාරස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සහ දෙරට අතර ආගමික නායකයින් හා සිසුන් අතර අධ්‍යන හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු විය. වියට්නාම බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය නමක් පමණ දැනට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන බව ද මෙහි දී සඳහන් විය.

    දෙරටේ පාර්ලිමේන්තු සබඳතා වැඩි දියුණු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යන නිරීක්ෂණ චාරිකා සංවිධානය කිරීම සහ දෙරට අතර මේ වනවිටත් පවතින සහයෝගීතා වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

    ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ලෙස හෝ තී තාන් ටෘක් මහත්මිය පසුගිය මාර්තු මාසයේ සිට කටයුතු කරන්නීය.

    Latest News