ව්‍යාපාරික හුසේන්ගේ ඝාතනයට පුත්‍රාය තවදුරටත් රිමාන්ඩ්

ඔක් 08, 2021

    දැනට වසර හතරකට පමණ ඉහත දී කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අභිරහස් ලෙස ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතාගේ පුත්‍රයා තවදුරටත් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බවයි.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදු කර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

    අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    Latest News