මහ කන්නයට අවශ්‍ය පොහොර ඔක්තෝබර් 12 සිට ගොවිජන මධ්‍යස්ථානවලින්

ඔක් 06, 2021

    එළැඹෙන මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය සියලු පොහොර ගොවිජන මධ්‍යස්ථාන මගින් ගොවීන්ට දීම සිදු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

    එළැඹෙන මහ කන්නය ඔක්තෝබර් 15 දා අම්පාරෙන් ආරම්භ කරන අතර ඔක්තෝබර් 12 දා සිට එම ප්‍රදේශයට අවශ්‍ය සියලු පොහොර ගොවිජන මධ්‍යස්ථාන මගින් බෙදා හරින බව ද ඇමැතිවරයා කීය.

    වී ගොවිතැනට කිසිදු ගැටලුවක් නොවන බවත් නයිට්‍රජන් බූස්ටර් එක චීනයෙන් ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද එහි ක්ෂුද්‍ර ජීවීන් සිටි නිසා මෙරට රජය එය ප්‍රතික්ෂේප කළ බවත් ඇමැතිවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    නැනෝ නයිට්‍රජන් එකක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සාකච්ඡා කරන බවත් තේ සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය නයිට්‍රජන් නිෂ්කාරකය ගෙන්වීම කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    අල මෙට්‍රික් ටොන් 150,000ක් මේ වන විට ආනයනය කර ඇති බවත් ජී සීරෝ ධාරිතාව සීතාඑළියේ මිලියන 3ක් වන අතර එය මිලියන 9ක් දක්වා වැඩි කිරීමට මේ වසරේදී ප්‍රතිපාදන වෙන් කළ බවත් ඇමැතිවරයා කීය.

    ජී සීරෝ බීජ නිෂ්පාදනය මේ වසරේ සිට මෙරට සිදු කරන අතර ලබන වසරේ සිට කිසිදු අල බීජයක් ආනයනය නොකරන බව ද ඇමැතිවරයා පැවසීය.

    අලවලින් ස්වයංපෝෂණය කරන විට ජී සීරෝ මගින් කළ හැක්කේ සියයට 60 ක ප්‍රතිශතයක් වන අතර ඉතිරිය දේශීය අලවර්ග ඒ සඳහා භාවිතා කළ යුතු බවත් දේශීය අලවර්ග 150 ක් පමණ තිබෙන බවත් ඇමැතිවරයා කීය.

    Latest News