රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

ඔක් 01, 2021

    සිය නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාරී ඉශාලිනි නමැති දැරිය පිළස්සී මරණයට පත්වීමේ සිද්ධියේ පස්වන සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සඳහන් කළේ සැකකරු සිය බලය උපයෝගී කරගනිමින් සාක්ෂිකරුවන්ට හා සාක්ෂිවලට බලපෑම් කිරීමට හැකියාව පවතින හෙයින් සහ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

    ඒ අනුව සැකකරු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ නිවසේ තිබී ලබාගන්නා ලද සීසීටීවී කැමරා පද්ධතියට සම්බන්ධ යන්ත්‍ර රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර තිබුණත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළා.

    එම වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් ඒවා ලැබීමෙන් පසුව ඊට අදාලව සැකකාර රිෂාඩ් බදියුදීන් ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම සැකකරු සම්බන්ධ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බවයි කියා සිටියේ.

    මෙම අපරාධය සිදු වූ අවස්ථාවේ සිට එය යටපත් කිරීමට සැකකරුවන් දැඩි පරිශ්‍රමයක් දරා ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අපරාධ සිදු වූ අවස්ථාවේ එම ස්ථානයට පොලිස් නිලධාරියෙක් පැමිණ එය යටපත් කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන් කළා.

    එහෙත් එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මේ දක්වා කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

    රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා මියගිය දැරිය පිළිබඳව කිසිවක් නොදන්නා බව සිය කට උත්තරයෙන් සඳහන් කර තිබුනත් එය පිළිගත නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

    සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලකයින් මුලින්ම හිතන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින් ගැන බවත් එම න්‍යායට අනුව රටේ වගකිවයුතු පුද්ගලයෙකු, දේශපාලන නායකයෙකු වශයෙන් රිෂාඩ් බදුර්දින් හිටපු අමාත්‍යවරයාට සිය නිවසේ සිටි මෙහෙකාරියගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඔහු වෙත පැවරී තිබුණු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

    සැකකරු බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයාට තර්ජනය කළ බවටත් බන්ධනාගාරය තුළ දුරකථන භාවිතා කළ බවටත්මි පැමිණිලි ලැබී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉකුත් නඩු දිනයක ඔහුගේ ලේකම්වරයෙකු අධිකරණ ශාලාවට පැමිණ නීතිඥ වරුන්ගේ දේශන පටිගත කොට සැකකරු වෙත ලබා දී ඇති බවට සැක මතු වී ඇතැයි ද සඳහන් කළා.

    පසුව මේ පිළිබඳව තමා අධිකරණයේ අවධානය යොමු කළ අවස්ථාවේදී අධිකරණය විමසූවට එම ලේකම්වරයා තමා u tv රූපවාහිනි ආයතනයේ මාධ්‍යවේදියෙකු බව ප්‍රකාශ කරමින් හැඳුනුම්පතක් අධිකරණයට ඉදිරිපත් කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළා.

    පසුව මේ පිළිබඳව එම රූපවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂවරයා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව මෙම ලේකම්වරයා අදාළ ආයතනයේ නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන අතර එම රූපවාහිනී ආයතනයේ කොටස්කරුවකු වශයෙන් රිෂාඩ් බදුයුදීන් කටයුතු කරන බව එම රූපවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශ කළේ යැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

    ඒ අනුව විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරුගේ ඇප ඉල්ලීමට තමා විරුද්ධ වන බවද ඔහු සඳහන් කළා.

    මෙහි දී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්. එම්. සහීඩ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මියගිය දැරිය තම සේවාදායකයාගේ නිවසට පැමිණි අවස්ථාවේ සහ ඇය මියගිය අවස්ථාවේ තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව සඳහන් කළා.

    මෙම සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    Latest News