මිනී මැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා හෙට දින තෙක් රිමාන්ඩ්

සැප් 30, 2021

    මට්ටක්කුලිය ප්‍රදේශයේදී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයකු හෙට(01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් යුධ හමුදා ලුතිනන් කර්නල්වරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ ප්‍රභාකරන් මහතා හමුවට පමුණුවනු ලැබුවා.

    මට්ටක්කුලිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මට්ටක්කුලිය පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සදහන් කළා.

    අදාල මිනි මැරුම සිදු කිරීම සඳහා එම සැකකරුවන් මෙහෙයවීම මෙම ලුතිනන් කර්නල් වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා..

    එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ සැකකාර ලුතිනන් කර්නල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා උතුරු නැගෙනහිර ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදු කර ඇති හෙයින් බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු හෙට(1) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළා.

    Latest News