රාජගිරිය රිය අනතුර; තවත් සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සැප් 28, 2021

    රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණී මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාර වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ‌මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙලෙස භාර වූ සැකකරුවන් දෙදෙනා අතුරින් එක් සැකකරුවකු පොලිසිය භාරයට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසයි.

    එහෙත් මෙම සැකකරු පොලිසියට භාරවීමෙන් පසුව ඔහු පහරදීමට ලක්ව තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

    කෙසේ වෙතත්, පොලිසිය විසින් තම බාරයට පමුණුවන ලෙස ඉල්ලා සිටි සැකකරු පහරදීමකට ලක්ව තිබෙන බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින් ද අනාවරණය කර තිබූ හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් භාර වූ අනෙක් සැකකරු ද ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියෝග කළේය. 

    Latest News