සෙනසුරාදා සිට සංචාරකයින්ට පැය තුනෙන් පී.සී.ආර් වාර්තාව

සැප් 24, 2021

    රටක් ලෙස අභියෝග හමුවේ නැගී සිට ජයගත් ඉතිහාසයක් හිමි අපට කොරෝන පරදා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    කටුනායක ගුවන්තොටුපල පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (23) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය. එළැඹෙන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරේ.

    පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි. මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.

    ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය.

    මෙවැනි උසස් තත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපලක් ආශ්‍රිතව ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි. පෞද්ගලික සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වේ. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සදහ ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.

    Latest News