අසාද් සාලිගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්ෂේප කෙරේ

සැප් 14, 2021

    ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික.සී.රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බරපතළ චෝදනා එල්ල කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළේය. 

    කෙසේ වෙතත් තම සේවාදායකයා මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සාක්ෂි අනාවරණය වී නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති හෙයින් ඔහු මුදාහරිණ ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ  වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරු විසින් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවත් එම නඩුව අංක දෙක මහාධිකරණය ඉදිරියේ ලබන නොවැම්බර් මස විභාගයට ගැනීමට නියමිත බවත් සඳහන් කළේය.
    එම නඩුවට අදාළව තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් සැකකරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇතැයිද ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසීය.
    ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත මේ වන විට මහාධිකරණය හමුවේ පවතින හෙයින් සැකකරු මුදාහරින ලෙස කරනු ලබන ඉල්ලීම සලකා බැලීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජේෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා පැවසීය.
    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ නඩුව මේ වනවිට මහාධිකරණය හමුවේ පවතින හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය. 
    කෙසේ වෙතත් මෙම සිද්ධිය සැකකරු මාධ්‍ය හමුවක දී සිදුකළ යැයි කියමින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කළ සංස්කරණය කරන ලද ප්‍රකාශය හා ඔහුගේ සමස්ථ ප්‍රකාශය පිරික්සීමේ දී එහි බරපතල වෙනසක් පවතින බව පෙනී යන්නේ යැයි  මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
    සංස්කරණය කරන ලද ප්‍රකාශය තුළින් සැකකරු ජාතීන් අතර පවතින සුහදතාවය බිඳ හෙළීමට ක්‍රියා කොට ඇති බවට චෝදනා එල්ල කර තිබුණත් ඔහුගේ සංස්කරණය නොකරන ලද සම්පූර්ණ කතාව පිරික්සීමේදී ඒ තුළින් සියලු ජනකොටස් එක්වී ඉදිරියට යා යුතු බව අවධාරණය කර ඇති බව අධිකරණයට නිරික්ෂණය වන්නේ යැයි ද මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.
     
    ඒ අනුව ජනමාධ්‍ය විසින් තමන්ට අවශ්‍ය කොටස් සංස්කරණය කර ප්‍රකාශයට පත් කිරීම තුළින් පුද්ගලයින්ට හානියක් සිදුවන අතර ඒ හරහා යම් සිදු වීමක් සිදු වුවහොත් එහි වගකීම මාධ්‍යවලට දැරීමට සිදුවන බවත් පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මාධ්‍ය වල මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය යුතුයැයි ද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    Latest News