වන්දම රක්ෂිතයේ මහා පරිමාණ වන විනාශයක්

අගෝ 14, 2021

    බුත්තල, වන්දම රජයේ රක්ෂිතයේ සිදුකළ වැටලීමක දී මහා පරිමාණයේ වන විනාශයක් සිදුකිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවෙක් පළාගොස් ඇත.

    රක්ෂිතයේ අක්කර පනහකට වඩා වැඩි වනාන්තර ප්‍රදේශයක් සැකකරුවන් විසින් යන්ත්‍ර උපකරණ යොදාගනිමින් එලිපෙහෙළි කර තිබේ.

    එම එළිපෙහෙළිකළ වනාන්තර කොටස වනඅලි රංචු වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ වනසතුන් රැසක්ම ජීවත් වන අතිශය සංවේදී පරිසර පද්දතියක් සහිත ප්‍රදේශයකි.

    මෙම රක්ෂිතයේ තිබූ වසර සිය ගණනක් ඉපැරැණි විශාල ප්‍රමාණයේ ශාක මුලින්ම ගිනි තබා විනාශ කිරීමට සැකකරුවන් විසින් පියවර ගෙන ඇති අතර එවැනි විශාල ගස් සිය ගණනක් කපා ගිනි තබා ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙහෙයුම සිදු කරන අවස්ථාවේ දී එම ස්ථානයේ යන්ත්‍ර දෙකක් උපයෝගී කරගනිමින් වනාන්තරය එළිපෙහෙලි කල එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පලා ගොස් ඇත. 

    ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් මෙම දැවැන්ත වන විනාශය සිදු කරගෙන ගොස් ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයකු වන අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

    සැකකරු සහ යන්ත්‍ර උපකරණ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    20210813 230538

    20210813 230628

    20210813 230654

    20210813 230514

     

    Last modified on සෙනසුරාදා, 14 අගෝස්තු 2021 10:45

    Latest News