නිරෝධායන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ඝෝෂණය මර්ධනයට එරෙහිව පෙත්සමක්

ජූලි 14, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ඝෝෂණය මර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තය වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ගෝෂණ මැඩ පැවැත්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග මගින් පොලීසිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කළ බවට තීන්දු කරණ ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

    ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ එහි උප සභාපති හබීබ් මොහොමඩ් සමීන් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නිරෝධායන පනත යටතේ නිකුත් කළ මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ පදනම් කරගනිමින් ඉකුත් 6 වනදා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ හරහා සාමකාමී උද්ඝෝෂණ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කළා

    මේ යටතේ ඉකුත් 08 වනදා පාර්ලිමේන්තු වටරවුම අසල කොතලාවල පුද්ගලික විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පැවති උද්ගෝෂණයට සහභාගී වූ තම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 30 දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

    ඒ අනුව නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගඋපදේශ මාලාවෙන් සහ එය පදනම් කරගෙන පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් නිකුත් කළ ලිපිය මගින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News