කොවිඩ් එන්නත් ලබාගැනීම online ක්‍රමයට

ජූලි 13, 2021

    කොවිඩ් එන්නත ලබාගැනීම තවදුරටත් පහසු කිරීම සඳහා මාර්ගගත ලියාපදිංචි ක්‍රමවේදයක් ඊයේ හඳුන්වා දෙනු ලැබීය.

    එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ක්‍රමවත්ව සිදුකිරීම අරමුණයි. ඒ අනූව, දැනට බස්නාහිර පළාතේ පදිංචි කොවිඩ් එන්නත ලබාගත හැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන සියලු දෙනාට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වී දිනයක් සහ වේලාවක් ලබාගත හැකියි.

    vaccine.covid19.gov.lk එලෙස ලියාපදිංචි විය යුතු වෙබ් අඩවියයි. නව ක්‍රමවේදය ඊයේ හඳුන්වා දෙනු ලැබුවේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්. බස්නාහිර පළාතේ පදිංචි පුද්ගලයන්ට තම ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය අනූව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවල ලියාපදිංචි විය හැකියි.

    ජාතික හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය බස්නාහිර පළාතේ නොවූවද පළාත තුළ පදිංචි ජනතාවට දැනට පදිංචි ග්‍රාම නිලධාරී ප්‍රදේශය සනාථ කළ හැකි බිල්පතක් හෝ ඉදිරිපත් කර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වී එන්නත් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

    බස්නාහිර පළාතේ එන්නත් පළමු මාත්‍රාව පමණක් ලබාගත් අයට ද දෙවැනි මාත්‍රාව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වීමෙන් එය පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සැලසීමට නියමිතයි.

    මෙම වැඩපිළිවෙළ අනෙකුත් පළාත්වල ජනතාව සඳහා ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 

    Latest News