එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය විමර්ශනයට ජනාධිපති කොමිසමක් ඉල්ලා පෙත්සමක්

මාර් 07, 2022

    මෑතකදී කොළඹ වරාය මුහුදු සීමාවේ දී "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නා.

    විජිත් මළල්ගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරුණා.

    ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා, සමූද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඇතුළු පාර්ශව කීපයක් වෙත පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කළා.

    නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 24 වන දා ට පෙර ගොනුකරන ලෙස ද අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි.

    මේ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස වගඋත්තර කරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News