'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ ඉදිරිපස කොටස ද තරමක් ගිලෙයි

ජූනි 03, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස කොටස ද ඊයේ දිනයට සාපේක්ෂව මුහුදේ තරමක් ගිලී ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. එහි පිටුපස කොටස මීටර් 22 පමණ ගැඹුරු මුහුදු පතුලේ රැඳී ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ.

    නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් අද උදේ නෞකාවේ පතුල නිරීක්ෂණයට ගොස් ඇතත් මුහුදු පතුලේ පැහැදිලි බව අවම වීම හේතුවෙන් ඉන් ඉවත් වූ බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කරයි. යම් ලෙසකින් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවුවහොත් නාවික හමුදාව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට සහාය වීමේ සූදානමකින් පසුවෙයි.


    එවැනි අවස්ථාවක ක්‍රියා කිරීමේ පූර්ණ අධිකාරී බලය හිමි වී ඇත්තේ එම ආයතනයටයි. ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බිර් සිං යන මහත්වරුන් අතර දුරකථන සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.


    නෞකාව ගිලී ඇති ස්ථානයෙන් ඉවත් කිරීම හෝ වෙනත් ඉදිරි ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාවෙන් ලබාගත හැකි සහාය අවශ්‍යතා හා පහසුකම් සම්බන්ධයෙන් නාවික හමුදා ප්‍රධානීන් දෙදෙනා සාකච්ජා කර තිබේ.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිර වී තිබීම හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන වෙනත් නෞකාවලට බාධාවක් එල්ල වී නොමැති බවයි.

    Latest News