'එක්ස්ප්‍රස් පර්ල්' ගිලී ගෑමෙන් නෞකා ගමන් මගට බාධාවක් නෑ..

ජූනි 03, 2021

    එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පවසයි.

    මේ වනවිට ගිනිගත් නෞකාවේ පසුපස කොටස සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලී ඇති අතර නෞකාව මේ වනවිට ඇති ස්ථානයේ මුහුදේ ගැඹුර මීටර් 22 ක්. මීටර් 186ක දිගකින් යුතු නෞකාවෙන් මේ වන විට අඩකට ආසන්න ප්‍රමාණයක් මුහුදේ ගිලී තිබේ.

    නෞකාව තුළ ඇති මෙට්ට්‍රික් ටොන් 322ක ඉන්ධන තොගයක් ඇතත්, ඉන්ධන කාන්දුවක් වී ඇත්දැයි මේ වනතෙක් බලධාරීන් තහවුරු කර නොමැත.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසන්නේ, ගිලී යෑම ආරම්භ වී ඇති එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වී සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩපි⁣ළිවෙළක් ක්‍රියාත්මක කර සීරුවෙන් පසු වන බවයි.

    ඉන්දියාවේ හසීරා වරායේ සිට බහාලුම් 1,486ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 20දා ගිනි ගැනීමට ලක් ලක්විය.

    ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත්ත ද එය අසාර්ථක විය.

    අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත නෞකාව ගැඹුරු මුහුදට ඇඳ ගෙන යෑම ආරම්භ කළද ඊයේ (2) දහවල් වන විට නෞකාවේ පිටු පස කොටස මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් ඇඳගෙන යෑම නවතා දැමිමට සිදුවිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 13:03

    Latest News