දඹුල්ල ආර්ථිකය අදත් විවෘතයි

මැයි 31, 2021

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ සිට මේ දක්වා අඛණ්ඩව විවෘතව පවතින බව එහි වෙළෙඳ සංගමය පවසයි. වෙළෙඳුන් කියා සිටියේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ එළවළු තොග විශාල වශයෙන් ලැබීම හා ඊට ඉහළ ඉල්ලුමක් පැවතීම නිසා වසර ගණනාවකට පසු ඊයේ රාත්‍රී දඹුල්ල නොනිදන නගරය බවට යළි පත් වූ බවයි.

    පෙර දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අලුයම 5.00ට විවෘත කර සවස 2.00ට වසා දමනු ලැබූ අතර ඊයේ එළවළු තොග අඛණ්ඩව ලැබෙමින් පැවතීම නිසා එම ලොරි රථ රාත්‍රී 10.00 පමණ වන විටත් ඇතුළත් කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගවල නවතා තිබෙනු දැක ගත හැකි විය. අප වාර්තාකරු සඳහන් කළේ ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව ආර්ථික මධ්‍යස්ථානය තුළ හැසිරෙන ආකාරය ද දැකගත හැකි වූ බවයි.

    ඊයේ උදෑසන සිටම ලැබුණු එළවළු සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිණ. ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ එළවලු තොග අළුයම කාලය දක්වා එකම මිල මට්ටමක පැවතීම ද විශේෂත්වයක්.

    ඊයේ දිනට සාපේක්ෂව අද එළවළු තොග ලැබීම 40%ක් පමණ වන බවයි, වෙළෙඳුන් පවසන්නේ. ඊයේට සාපේක්ෂව අද එළවළු මිලෙහි යම් අඩුවීමක් දැකගත හැකි බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

    එහෙත් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබී තිබූ කැරට්,ලීක්ස්,මාළු මිරිස්,බෝංචි ආදී කිලෝවක තොග මිල රු.150ත් 200ත් ඉක්මවා අලෙවි වී තිබේ. එළවළු මිල දී ගැනීමට අද විශාල පිරිසක් පැමිණ නොසිටි බැවින් තම අස්වනු අඩු මුදලකට හෝ අලෙවි කර ගැනීමට ගොවීන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටි බව ද අප වාර්තාකරු කියා සිටියේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පස්වරුවේ යළි වසා තැබීමට නියමිතයි.

    Last modified on සදුදා, 31 මැයි 2021 12:10

    Latest News