පර්ල් නැවේ ගින්න නිවීමට ඉන්දිය සහයත්

මැයි 25, 2021

    කොළඹ වරාය නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ සිංගප්පූරු එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

    එබැවින් මුහුදු සැතපුම් පනහක පමණ දුරකට නෞකාව ගෙනයාමට නාවුක හමුදාව සැලසුම් කර තිබේ. ඒ ඇතිවිය හැකි පරිසර හානිය අවම කිරීමේ අරමුණින්. නෞකාව කොළඹ වරායට සැතපුම් 9.5ක දුර සීමාවේ දී ගිනි ගැනීමට ලක්විය.


    කොළඹ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී දැඩි සුළං තත්වයක් පැවතීම හේතුවෙන් නෞකාවේ ගින්න වර්ධනය වී තිබේ. නෞකාවේ තිබූ බහලුම්වල ඇති රසායන ද්‍රව්‍ය හේතුවෙන් ගින්න තවත් පැතිරයාමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙයි. නෞකා කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකු ගලවා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව හා ඊට අදාළ මෙහෙයුම් සිදුකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වුවද, එක් අවස්ථාවක දී බහලුම්වලට ගිනි ගැනීමේ දී සිදුවූ පිපිරීම නිසා දෙදෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.


    ගින්න හේතුවෙන් බහලුම් 8ක් පමණ සාගරයට වැටී තිබේ. බහලුම්වල තිබූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් ජලය දූෂිත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවත් බලධාරීන් පවසයි.


    සමුද්‍රීය පරිසර අධිකාරිය කියා සිටියේ, රසායන ද්‍රව්‍ය කාන්දුව සිදුවුවහොත් ධීවර කටයුතුවලට හා නෞකා මාර්ගවලට බාධා එල්ල විය හැකි බවයි. එබැවින් ඒ පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින බවයි, අධිකාරිය ප්‍රකාශ කළේ.


    එය වළක්වාගැනීමට නෞකාව ගැඹුරු මුහුදට ගෙනයාමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන තිබේ.
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, කැළණි ගං මෝයේ සිට මාඔය දක්වා වෙරළාසන්න ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳ දැඩි අවදානයෙන් සිටිය යුතු බවයි.


    මුහුදට වැටුණු බහලුම්වල තිබූ රසායන ද්‍රව්‍යයක් හෝ බහලුමක් වෙරළාසන්නට පැමිණියහොත් එය ආසන්නයට යාම හෝ විවෘත කිරීමට උත්සාහ කිරීම නොකළ යුතුයි.
    ඒ අවට ධීවර කටයුතුවල නිරත නොවන්නැයි, එම මධ්‍යස්ථානය ධීවරයන්ට දැනුම් දෙයි.

    ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ නෞකාව අද ශ්‍රී ලංකාවට සේන්දුවීමටස නියමිතයි. ගින්න නිවීමට සහ තෙල් හානි වැළැක්වීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රැගත් ගුවන් යානාවක් ද මෙහෙයුම සඳහා සූදානම් කර තිබේ.
    පරිසර හානිය අවම කරගැනීමටත් සමුද්‍ර දූෂණය පිළිබඳ අවධානය යොමු කිරීමටත් පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර අධිකාරිය පවසයි.

    Latest News