ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අද

මැයි 26, 2021

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

    ලොව පුරා සැදැහැවතුන් සම්බුදු තෙමඟුල සමරමින් අද නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරතවිය. බුදුවරයෙකු ලොව පහළ වීම කල්ප ගණනාවකින් සිදුවන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව, බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි.

    කිඹුල්වත්පුර ලුම්බිණි සල් උපනේදී වෙසක් පොහෝ දින උත්පත්තිය ලැබූ සිදුහත් කුමරු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත්වූයේද අද වැනි දිනකයි. උන්වහන්සේ මිනිස් වර්ගයාට ජිවිතාවබෝධය ලබාදී නිර්වාණ මාර්ගය පෙන්වා දී තිබේ.

    බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, ශාක්‍යයන්ගේ මානය බිඳලීමට යමාමහ පෙළහර පෑම, තෙවැනි ලංකා ගමනය හා සමනොළ ගිරි සිරස මත පිරිපා සළකුණ සටහන් කිරීම වෙසක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්.

    පන් සාළිස්වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිර්වාණයට පත්වූයේ ද අද වැනි පොහෝ දිනකයි. 
    බුදු දහමින් පොෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රද්ධා පෙරදැරිව වෛශාක්‍ය මංගල්‍යයට උත්සවශ්‍රීයෙන් සමරයි.

    Latest News