පර්ල් නෞකාවේ සිද්ධියෙන් වූ සත්ත්ව මරණ පිළිබඳව අධිකරණයට නිතිපතිවරයා කරුණු දක්වයි

ජූනි 30, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

    මෙම සත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම මරණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

    මෙම සත්ව මරණ වලට අදාලව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

    ඊට අමතරව මෙම සත්ව මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News