බදියුදීන්ගේ සොහොයුරාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මැයි 20, 2021

    කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු වන රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ජයසේකර, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව 2020 වසරේ අප්‍රේල් මස 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින්ම අත්අඩංගුවට ගත් බවයි.

    ඉන් අනතුරුව තමන්ගේ නිවාස, දේපල ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට එරෙහිව නඩු පැවරීම සඳහා සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන්ව මුදාහැරීමට පියවර ගත් බවද රියාජ් බදියුදීන් පවසයි.

    ඉන් අනතුරුව ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව යළි අත්අඩංගුවට ගත් බව චෝදනා කරන රියාජ් බදියුදීන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු කිසිවක් ප්‍රකාශ නොකළ බවද චෝදනා කළේය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවත් ඔහු පවසයි.

    තමන්ව අඩංගු ගැනීම සඳහා සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රියාද් බදියුදීන් මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

    එමෙන්ම තමන්ව ඔනෑම කොන්දේසියක් මත මුදා හරින ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව රඳවා ගෙන සිටින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කළ ලෙසත් ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

     

     

    Latest News