මෙම වසරේ ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට

මැයි 05, 2021

    මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

    කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ඊයේ පෙරවරු 11.00ට ආරම්භ වූ අතර මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් මෙරටට ඇණවුම් කර ඇති බවත් එයින් පළමු එන්නත් මාත්‍රා15,000 ක් ඊයේ මෙරටට ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිත බව සඳහන් කල අමාත්‍යවරිය ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත්ද මෙම වර්ෂයේදී ලැබීමට නියමිත බවත් ඒ සඳහා එම එන්නත් නිෂ්පාදිත ආයතන සමග ගිවිසුම්ගත වී ඇතැයිද අමාත්‍යවරිය සඳහන් කළාය.

    රජයේ ඉලක්කය වූයේ 60%ක් ජනතාව එන්නත්කරණය කිරීම වුවද , එම සීමාව ඉක්මවා කටයුතු කිරීමට හැකියාව ලැබී ඇතැයිද පැවසූ අමාත්‍යවරිය චීන එන්නත සඳහා අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය අමතර එන්නත් ප්‍රමාණය ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද සඳහන් කළාය. මෙරට එන්නත්කරණය දියුණු රටවල එන්නත්කරණයට සමාන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    රජය ජන ජීවිතයද ආරක්ෂා කරගනිමින් කොවිඩ් පාලන වැඩපිළිවෙල ගෙන යන බවත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගන්නා සෑම පියවරකදීම, අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන මට්ටම පවත්වා ගැනීම සහ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් රජය සැළකිළිමත් වන බවද සඳහන් කළාය.

    Latest News