ප්ලාස්ටික් තහනම උල්ලංඝණය කරන සමාගම් ගැන පරීක්ෂණයක්

මැයි 05, 2021

    ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිතව සිදු කෙරෙන නිෂ්පාදන කිහිපයක්  තහනම් කිරිමේ ගැසට් පත්‍රය උල්ලංඝණය කරමින් කටයුතු කළ සමාගම් වහාම පරීක්ෂාවට ලක් කරන්නැයි පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

    වරක් භාවිතා කර ඉවත ලන Single – Use ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් මාර්තු මස 31 දින සිට ක්‍රියාත්මක කරන ලද ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් කටයුතු කළ සමාගම් සම්බන්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

    එම ගැසට් පත්‍රයේ සඳහන් කරුණු කිහිපයක් උල්ලංඝනය කරමින් ග්‍රෑම් 24 සැෂේ පැකට් වෙළෙඳපොළට නිකුත් කළ සමාගමක් සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිළි ලැබී තිබේ. මාර්තු 31 සිට තහනම් කරන ලද්දේ ග්‍රෑම් 20ට වඩා බර අඩු ඖෂධ හා ආහාරමය නොවන සැෂේ පැකට් ඇතුළු පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05කි.

    ඊයේ පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පරිසර ආමත්‍යාංශයේ දී පැවැත්විනි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා , මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    එහිදී වරක් භාවිතා කර ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් අපදුව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පරිසර අමාතයාංශය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පනවන ලද රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ සමාගම් වහාම පරීක්ෂාවට ලක් කර ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

    මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ බහුජාතික සමාගම්වලට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට තමන් සුදානම් නැති බවයි. අප රටේ පාරිසරික සුරක්ෂිතතාව සඳහා රජය විසින් ගනු ලබන තීන්දු හා තීරණ සියලු පාර්ශ්ව විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News