ජෙෆ්රි ඇලෝසියස්ට සිංගප්පූරුව තහනම්; ඉන්දියාවට අවසර

පෙබ 05, 2019
    පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යාම සඳහා දෑතට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන  මෙන් කර තිබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට ඉන්දියාවට යාමට පමණක් දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් අවසර ලබා දුන්නේය.
    ජෙෆ්රි ඇලෝසියස් මහතා විසින් කර තිබූ ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳනු ලැබීය.
    එහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම  සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 13 වනදා සිට   ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍යව ඇති බවයි.
    ඒ සඳහා ඔහූට දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම අදාල කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන මෙන් ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජෙෆ්රි ඇලෝසියස් මහතා ඉන්දියාවට යාම සම්බන්ධයෙන් කරන ඉල්ලීමට විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරන බවත් කෙසේ වෙතත් සිංගප්පූරුවට යාම සඳහා කරන ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව කියා සිටියේය.
     
    වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කර තිබුණත් ඒ බව තහවුරු කරන ලේඛන කිසිවක් ඔහු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් එම ඉල්ලීමට විරුද්ද වන බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.
    ඒ අනුව ඇලෝසියස් මහතාට මේ මස 13 වනදා සිට 20 දක්වා කාලසීමාව තුළ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිංගප්පූරුවට යාමට ඉඩ දෙන මෙන් කරන ඉල්ලීම පිළිබඳව ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය ලේඛන ලබන 25 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු දක්වන ලෙස  ඇලෝසියස් මහතාගේ නීතිඥවරු වෙත දන්වා සිටියේය.

    Latest News