වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙටටත්

අප්‍රේ 20, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළා.

    අදාළ පෙත්සම් අද දෙවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගත්තා.

    මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කළ‍ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපිත කෙරෙන කොමිසම මහජනයාට වග නොකියන තත්වයකට පත් කොට තිබීම බරපතල ගැටලුවක් බව සඳහන් කළා.

    වරාය නගරය සතු භූමියේ අයිතිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරෙන අතර එම භූමිය බදු දීම, විකිණීම, පැවරීම ආදී කටයුතු සිදු කිරීමේ අත්තනෝමතික බලයක්ද ඊට පැවරී තිබෙනවා.

    කොමිසමේ මෙවැනි කටයුතු පාර්ලිමේන්තුවට පවා අධීක්ෂණය කළ නොහැකි තත්වයක් මෙම පනත් කෙටුම්පත හරහා උද්ගතවී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ මොහොමඩ් මහතා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි අවධාරණය කළා.

    මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති හරහා මෙරට ජනතාවගේ අධිකරණ බලය පවා කප්පාදු වන තත්වයක් පවතී.

    එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් රටේ ස්වෛරීභාවය මෙන්ම ජනතාව සතු පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය කෙරෙන බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

    නීතිඥවරුන්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක නිදහසේ සිය වෘත්තියේ නිරත වීමට අවකාශ පැවතියද වරාය නගර කලාපය තුළ නීතීඥ වෘත්තීයේ නිරත වීමේදී සීමාකිරීම්වලට මුහුණ දීමට සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් චෝදනා කළා.

    මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසමේ ඉහළ නිලතල සදහා විදේශිකයින් පත් කිරීමටද අවකාශ සැලසෙන අතර ඒ තුළින් මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථිකය ද අනතුරට ලක් වීමේ අවදානමක් පවතින බවයි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    තවත් පෙත්සමක් ඉදිරිපත් කළ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇතිකර ගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කර ගත් සංශෝදිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ පැවසුවා.

    කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සදහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබු බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඒ අනුව පලාත් සභා විෂයට අයත් මෙම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමුකර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යැයි චෝදනා කළා.

    මෙම පනත් කෙටුම්පත තුළින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන තීරණය මුලූමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යැයි ද ඔහු චෝදනා කළා.

    මේ තුළින් ජාතික ආරක්ෂාව පවා දැඩි ලෙස අනතුරට ලක් වන බවද ඔහු පෙන්වා දුන්නා.

    මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය තුළ සිටින්නන්ට රටේ අනෙකුත් ජනතාවට හිමි නොවන සුවිශේෂ වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුළ නීතිය මෙලෙස දෙයාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළා.

    මෙම පනත් කෙටුම්පත තුළින් අපේක්ෂා කෙරෙනේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා මෙම වරාය නගර කලාපයේ ඇරඹෙන ව්‍යපාර තුළින් කිසිදු ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බව ද සඳහන් කළා.

    වරාය නගර කලාපය තුළ ශ්‍රී ලාංකික මුදල් භාවිතා කිරීමට අනුමැතියක් නොමැති බව සදහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙය අනුමත කළ හැකි ක්‍රියාවක් දැයි ප්‍රශ්න කර සිටියා.

    මෙම පනත් කෙටුම්පත තුළින් වෙනම ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය සියලු ලක්ෂණ වරාය නගර කලාපය වෙත ලබා දීමට ක්‍රියා කර ඇති අතර රටේ පවතින මූල්‍ය නීති මෙම නගර කලාපය තුළ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම කලාපය මුදල් විශුද්ධිකරණ කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇතැයි ද අනතුරු අඟවා සිටියා.

    ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ මෙවැනි නගර කලාපයක් ක්‍රියාත්මක විය නොහැකි බවත් මෙම වරාය නගර ව්‍යාපෘතියට ඉන්දියාව, ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් රැසක් දැනටමත් විරෝධය පළකර ඇතැයි සදහන් කළ ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත හේතුවෙන් ශ්‍රී ලංකාව දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත් වනු ඇතැයි ද අනතුරු අඟවා සිටියා.

    මෙවැනි ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මැඩ පැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ද අවසන් වශයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    තවත් පෙත්සමක් ඉදිරිපත් කළ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඒ හරහා නීතිවිරෝධී ක්‍රියා රාශියක් සිදු වීමට ඉඩකඩ විවර වන බව පැවසූවා.

    නාගානන්ද කොඩිතුවක්කු මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ අග විනිසුරු ජයන්ත ජයසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරු විසින් මෙම පනත් කෙටුම්පත් අදාළව පමණක් කරුණු දක්වන ලෙස කොඩිතුවක්කු මහතාට කිහිප වතාවක් අවවාද කිරීම කැපී පෙනෙන සිද්ධියක් වුණා.

    අද දින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම හෙට (21) දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19 ක් ඉදිරිපත් කර තිබෙනවා.

    එමෙන්ම අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල , අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

    මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News