දකුණ-කටුනායක සම්බන්ධය ළගඳීම

පෙබ 01, 2019

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය ලබන ජුනි මස වනවිට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව, අධිවේගී මාර්ග පද්ධතිය මගින් එකිනෙකට යා කෙරෙන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 05ක්. කොට්ටාව සිට කඩුවෙල, කඩවත හරහා කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් මාර්ගය කිලෝ මීටර 29ක් දිගින් යුක්තයි.

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ කර ඇති එය කඩවතදී මධ්‍යම අධිවේගී මාර්ගයට යා කෙරේ. පළමු අදියර යටතේ කොට්ටාව සිට කඩුවෙල දක්වා ඉදි කෙරුණු පිටත වටරවුම මාර්ගය කඩවත දක්වා දීර්ඝ කර ඇත්තේ, දෙවැනි අදියර ලෙසයි.

    මේ වනවිට පළමු හා දෙවැනි අදියර රථවාහන සඳහා විවෘත කර තිබේ. ලබන ජුනි මස අවසන්වීමට නියමිතව ඇත්තේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වන තුන්වැනි අදියරයි. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට පිටත වටරවුම් මාර්ගය කෙරවලපිටියේ දී සම්බන්ධ කෙරේ.

    තුන්වැනි අදියරේ මාර්ගය කිලෝ මීටර 6.3ක් ඉදි කෙරෙන්නේ කුළුණු මතයි. පිටත වටරවුම මාර්ගය ඉදි කෙරෙන්නේ කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට පිලියමක් ලෙසයි.  මීළඟ සියවසේ සංවර්ධන අභියෝගවලට ගැලපෙන පරිදි අගනුවර ආශ්‍රිත යටිතල පහසුකම් නැංවීම එහි තවත් අරමුණක්.

    මංතීරු 4කින් යුත් පිටත වටරවුම මාර්ගය කඩවතදී කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට ද සම්බන්ධ කෙරේ.  විශාල ප්‍රමාණයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් බවට එය පත්වන්නේ දිශා තුනකින් අධිවේගී මාර්ග සහ දිශා දෙකකින් ප්‍රධාන මාර්ග ඊට යොමුවන නිසයි. කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ගය සම්පූර්ණ වීමෙන් පසු කොළඹ පිටත වටරවුම මාර්ගයේ සමස්ත ඉදිකිර්ම් ද අවසන් වේ.

     

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 20:39

    Latest News