හෙරොයින් කිලෝ 300ක් හා ගිනි අවි සමග මෙරට ධීවර යාත්‍රාවක් ඉන්දීය අත්අඩංගුවට

මාර් 31, 2021

    හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් හා ගිනි අවි සමග ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. දකුණු ඉන්දියාවේ කේරළයට අයත් විස්හින්ජාම් මුහුදේ දී වැටලීම සිදුකර ඇති බවයි,ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

    එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය හා වෙරළාරක්ෂක බලකාය වෙත ලද බුද්ධි තොරතුරුවලට අනූව ඉකුත් 25 වැනිදා රවිහංසි නමැති මෙම ධීවර යාත්‍රාව ඔවුන් බාරයට ගෙන තිබේ.

    එය පරීක්ෂා කිරීමේ දී හෙරොයින් කි‍ලෝග්‍රෑම් 300යි ග්‍රෑම් 323ක්, ඒ කේ 47 වර්ගයේ ගිනි අවි 5ක් හා මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ දහසක් පමණ සොයා ගැනුණු බවයි,ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය පවසන්නේ.

    එහි සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් ද ඉන්දීය වෙරළාරක්ෂක බලකා අත්අඩංගුවට ගෙන තිබේ.

    ධීවර යාත්‍රාව විස්හින්ජාම් වරාය වෙත රැගෙනවිත් ඇති බවයි, මාධ්‍ය වාර්තා පවසන්නේ.

    Latest News