ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකු නඩු දෙකකින් නිදහස්

මාර් 26, 2021

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කරන ලද නඩු දෙකකින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ඒ, ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්.

    මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම නියෝගය කළා.

    කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන් නිදහස් කරන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

    ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය මෙසේ නිදහස් කෙරුණා.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පමණ පාඩුවක් සිදු කළේ යැයි චෝදනාකොට ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

    අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දු කර තිබුණා.

    එම තීන්දුවට අනුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම විත්තිකරුවන් අද නිදහස් කරනු ලැබුවේ.

    Latest News