"සුරකිමු ගංගා" වැඩසටහන හෙට (22) ජනපති ප්‍රධානත්වයෙන්

මාර් 21, 2021

    මෙරට ගංගා සංරක්‍ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙට (22) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේදී ඇරඹේ.

    පෙරවරු 10.00ට ආරම්භ කෙරෙන එය නම්කර ඇත්තේ "සුරකිමු ගංගා" ලෙසයි. වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසර පරිසර කළමනාකරණය සඳහා ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන වැඩසටහනක් ලෙස මෙය දැක්වේ.

    ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් ලෙස 2020 වසර ආරම්භයේදී මෙම වැඩසටහනේ මූලික කටයුතු ආරම්භ කෙරිණ.

    මෙවර ගංගා 103ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ ගංඉවුරු ඛාදනය, අනවසර ඉඩම් අල්ලා ගැනීම් සහ ඉදිකිරීම්, වැලි ගොඩදැමීම්, ගෘහස්ත අප ජලය මුදා හැරීම, මළ අපද්‍රව්‍ය හා කර්මාන්ත අපද්‍රව්‍ය ගංගාවලට මුදා හැරීම තුළින් ඒවා අපවිත්‍ර වන බව සමීක්‍ෂණ මගින් තහවුරු කරගෙන තිබේ. මේවා වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි. ජාතික වැඩසටහනට සමගාමීව හෙට අනෙකුත් පළාත් 08 කේන්ද්‍ර කර ගෙන ද වැඩසටහන් ආරම්භ කෙරේ.

    බස්නාහිර පළාතේ කැළණිගඟ පහළ හංවැල්ල ස්ථානයේද, සබරගමුව පළාතේ කලු ගඟ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව ද, නැගෙනහිර පළාතේ අම්පාර ගල්ඔය ආශ්‍රිතව ද, මධ්‍යම පළාතේ මහනුවර ගන්නෝරුව මහවැලි ගඟ ආශ්‍රිතවද, වයඹ පළාතේ බිංගිරිය දැදුරු ඔය ආශ්‍රිතව ද, උතුරු පළාතේ කිලිනොච්චිය කනගරායන් ආරු ආශ්‍රිතව ද දකුණු පළාතේ වළවේ ගඟ අම්බලන්තොට පාලම ආශ්‍රිතව ද, උතුරු මැද පළාතේ අනුරාධපුර මල්වතු ඔය බන්ධනාගාර පරිශ්‍රය ආශ්‍රිතව ද වැඩසටහන් ආරම්භ කෙරේ.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති-ඇමතිවරු පිරිසක් ද හෙට කතරගමදී පැවැත්වෙන ජාතික වැඩසටහනට සහභාගි වීමට නියමිතයි. එය හෙට පෙරවරු 10.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News