අගමැති ප්‍රධානත්වයෙන් “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව අරමුදල ඇරඹෙයි

මාර් 17, 2021

    “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව අරමුදල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‍යේ (16) දින පස්වරුවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

    සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව උසස් පෙළ හැදෑරීමට “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්වය පිරිනැමෙයි.

    “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව භාරයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අත්සන් තැබූහ.

    අනතුරුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්වභාරය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පිරිනැමුවේය.

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුපියල් මිලියන 10ක මුදලක් යොදා “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කර ඇත. එතුමාගේ ජන්ම දිනයට (16) සමඟාමීව මෙම ශිෂ්‍යත්ව අරමුදල සමාරම්භ කිරීම විශේෂත්වයකි.

    පෞද්ගලිකව ඕනෑම අයෙකුට දායක විය හැකි මෙම අරමුදලට සමාරම්භක අවස්ථාවේ දීම පෞද්ගලික ආයතන සහ දානපතීන්ගෙන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලැබී තිබේ.

    මෙම අරමුදලේ සමාරම්භය‍ට වැඩම කළ මහා සංඝරත්න‍‍යේ ආශිර්වාදය හිමි වූහ.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්,දිනේශ් ගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,නිමල් සිරිපාල ද සිල්වා,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්, විද්වතුන්, විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථයින්, අමාත්‍යංශ නිලධාරින් සහ ව්‍යාපාරිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News