වෛද්‍ය සභාව, ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාර ගැනීමට එකඟවෙයි

මාර් 15, 2021

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍රයක් යළි භාර ගැනීමට එම සභාව අධිකරණ හමුවේ එකඟවෙයි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සදහා වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍රය නැවත භාර ගන්නා බව එම සභාව විසින් අද කොළඹ දිසා අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.

    එම නිලවරණය සඳහා තමා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මේ මස 30 සහ 31 යන දිනවල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉකුත් දා නිකුත් කර තිබුණා.

    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකරුගේ ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍රය යළි භාර ගැනීමට එකඟ වන බව සඳහන් කළා.

    ඒ අනුව මෙම පැමිණිල්ලේ සමථය පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා නඩුව ලබන 19 වනදා යලි කැදවන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කළා.

    පැමිණිලිකාර වෛද්‍ය රයන් ජයලත් කියා සිටින්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් තෝරා ගැනීමේ නිලවරණය සඳහා තමන් විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

    තමා නියෝජිතයකු මාර්ගයෙන් මෙම නාම යෝජනා පත්‍ර භාර දී තිබීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍ය සභාව තීරණය කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

    මෙසේ සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍ය සභාව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය යළි භාර ගන්නා ලෙස නියෝග නිකුත් කළ ලෙස ඉල්ලමින් වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    Latest News