සහල් මිල - වී මිල මෙන් දෙගුණයක්; වී මෝල් හිමියන් එකඟවෙයි

ජන 31, 2019

     මිලට ගනු ලබන වී කිලෝවක මෙන් දෙගුණයක මිල එක් සහල් කිලෝවක් සඳහා අයකර ගැනීමට මෝල් හිමියන් සිය එකඟතාවය පළ කර තිබේ. 

    ලංකාවේ ප්‍රධාන පෙලේ වී මෝල් හිමියන් සහ කුඩා ප්‍රමාණයේ වීමෝල් හිමියන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ජා විය.ව්‍යාපාරිකයා මෙන්ම පාරිභෝගිකයා සුරැකීම උදෙසා සහල් මිල අප්‍රේල් මස මෙලෙස සංශෝධනය වන බවට සමාගම් එකඟ විය. කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට නිපුන සහ අරලිය සමාගම් ඇතු‍ළු සහල් නිපැයුම් සමාගම් කිහිපයක හිමිකරුවන්  සාකච්ඡාවට එක්විය. එහිදී මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා සිය පුද්ගලික ගබඩාවන්හි රජය විසින් පනවන ලද මිල ගණන් තම ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනයට ද සමාගම් සිය කැමැත්ත පළ කළේය.

    ඒ අනුව සම්බා කිලෝවක් රු.41 කට ද, නාඩු කිලෝවක් රු.38 කට ද මිලට ගැනීමට සමාගම් එකඟ විය.  අප්‍රේල් මාසයේ උත්සව සමය වන විට සම්බා කිලෝග්‍රෑම් 1ක මිල රු.85 දක්වා උපරිම සිල්ලර මිලට යටත්ව පාරිභෝගිකයා වෙත ලබා දීමට සමාගම් සිය එකඟතාවය පළ කරන ලදි.

    නියමිත ප්‍රමිතියට ගොවීන් විසින් වී ගබඩා වෙත ලබා දෙනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර ඇතැම් ගොවීන් තෙත බරට කමතේදීම වී විකිණීම තම නිෂ්පාදන කටයුතු සඳහා බාධාවක් බවත් ගොවීන් තෙත සහිත වී අලෙවි කිරීම හේතුවෙන් වී වියලීම සඳහා යන්ත්‍ර වෙනුවෙන් අමතර මුදලක් දැරිය යුතු බව සමාගම් පෙන්වා දුන්නේය.

    මෙවර මාස් කන්නය සඳහා වී මිලට ගැනීම වෙනුවෙන් රජය වී මෝල් හිමියන් වෙත රුපියල් බිලියන 22ක මුදලක් ණය කර වශයෙන් රාජ්‍ය බැංකු මඟින් ලබා දීමට අවශ්‍ය කටයුතු තමන් මැදිහත්ව  සිදු කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සමාගම් වෙත ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සහ වී අලෙවි මණ්ඩලයෙහි සාමාන්‍යාධිකාරී සමන් පාලිත බණ්ඩාර ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියහ.

    Latest News