කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම

මාර් 04, 2021

    කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් මැයි මස 18 දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කරයි.

    මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් මැයි මස 18 දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කළා.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන නාමල් කරුණාරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළා.

    ඒ අනුව මැයි මස 18 දා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් අධිකරණය විසින් පොලිස්පතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයාගේ මැදිහත් වීමෙන් එම නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පෙත්සම්කරු සඳහන් කරනවා.

    මෙය පුරාවිද්‍යා පනත යටතේ සිදු කළ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News