කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෙත්සමක්

ජූලි 28, 2020

    කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ වසර 1293 සහ 1302 අතර කාලසීමාව තුල ඉදි කළ බව කියන දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභාව ඉකුත් දා කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල වී තිබෙන බවයි.

    මෙම රාජ සභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බව පෙන්වාදෙන පෙත්සම්කරු එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇති බවද සඳහන් කළා.

    මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව තමා ඉකුත් 23 වන දා කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ද මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවටද පෙත්සම්කරු චෝදනා කළා.

    දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන බව චෝදනා කරන ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කර ලෙස ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News