"මතින් නිදහස් රටක්" මාතර දී ජනපති ප්‍රධානත්වයෙන්

ජන 30, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “මතින් නිදහස් රටක්” වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද(30) පෙරවරුවේ අාරම්භ වේ.

    ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහයවීමෙන් ක්‍රියාත්මක “මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

    මාතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ, දිස්ත්‍රික්කයේ සියලුම ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 650ක් ආවරණය වන පරිදි ග‍්‍රාමීය වැඩසටහන් 650ක් පවත්වා මහජනතාව හා නිලධාරින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඝෘජුව දැනුවත් කර තිබේ.

    එසේම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකායට අනුයුක්ත නාවික හමුදා හා ගුවන් හමුදා නිලධාරින් මගින් මාතර දිස්ත්‍රික්කයේ කලාප 05ක පාසල් 51ක පමණ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

    මෙම වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට දායකවූවන් ඇගැයීමට ලක් කිරීම අද පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුවේ දී සිදු කෙරේ.

    2015 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායෙහි වැඩසටහන් යටතේ ගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ දිස්ත්‍රික් සමුළු 11ක් පවත්වා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

    දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 25ක්, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ කමිටු 331ක්, ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 14022ක් මගින් ක්‍රියාත්මක කරන තිරසර පාසල් වැඩසටහන යටතේ පාසල් 6409ක පාසල් මත්ද්‍රව්‍ය නිවාණ කමිටු මගින් හා දහම් පාසල් දස දහසක පිහිටුවා ඇති කල්‍යාණ මිත‍්‍ර සමාජ මගින් දහම් පාසල් හරහා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වේ.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 09:42

    Latest News