නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් (වීඩියෝ)

පෙබ 26, 2021
  • පෑලියගොඩ පොලිස්ථානය තුළ දී නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබේ.

    මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පැවැත්වෙන බවයි. පොලිස් මූලස්ථානය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණ. ඒ අනුව, පසුගිය 23 වැනි දින කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුලු පොලිස් නිලධාරින් විසින් නයිජිරියානු ජාතිකයන් සිව් දෙනෙකු, බෙලරුස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තිබේ.

    ඒ, කැළණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගය පරිදි සිදු කළ මෙහෙයුමකට අනුවයි. සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, රුපියල් 17ත් ලක්‍ෂ 45,500ක මුදලක් වංචා කිරීම, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 120ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම හා ඊට අනුබලදීම, ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණයට යොදා ගන්නා කඩදාසි සියයේ බණ්ඩල 25ක් ළඟ තබා ගැනීම, වාණිජමය ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනා මතයි.

    එම සැකකරුවන්ගෙන් මල්වත්ත විදානලාගේ ප්‍රතිභා දිල්රැක්‍ෂි යන අය බැලීම සඳහා රාත්‍රී 8.35ය පමණ පුද්ගලයෙකු පැමිණි බව උප සේවක විසින් සඳහන් කර තිබේ. එම අවස්ථාවේ ඇති වූ සිද්ධියේදී මිගාර ගුණරත්න නමැති එම පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ විශේෂ නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් එක් කණ්ඩායමක් සහ කැලණිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ තවත් කණ්ඩායමක් ද පරීක්‍ෂණයක් පවත්වනු ලබයි.

    දැනට සිදුකර ඇති විමර්ශනයට අදාළව පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයික්ත ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 21:53

    Latest News